පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.
එයාර් බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුව අද කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.
නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ, සිද්ධියට අදාළ විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, ප්‍රමාදයකින් තොරව සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි.
එයාර්බස් සමාගම සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය අතර පුළුල් බඳ සහිත ගුවන් යානා 16ක් ලබා ගැනීමට අදාළ ගනුදෙනුවේදී සිදුවූ බව කියන අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
අධිකරණයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, ව්‍යාපාරික නිමල් පෙරේරා විසින් ලබාදී ඇති දිවුරුම් ප්‍රකාශයක නාමල් රාජපක්ෂ මහතාට අදාළව ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් ගෙවීමක් පිළිබඳ තොරතුරු සඳහන් වන බවයි. එම මුදල රුපියල් මිලියන 100කට ආසන්න බවද ඔහු පැවසීය.
එමෙන්ම එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව සිදුකළ වෝහාරික පරීක්ෂණයකදී නාමල් රාජපක්ෂ මහතා සහ එයාර්බස් සමාගම අතර ගනුදෙනු සම්බන්ධ ඊමේල් පණිවිඩ හමුවී ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇප ඉල්ලා සිටි අතර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊට විරෝධය පළ කළේය.
කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා නාමල් රාජපක්ෂ මහතා ලබන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.




