පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව තොරතුරු ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ ඇතැම් කොටස් සතුව පැවතියද, එම තොරතුරු අනෙකුත් ආරක්ෂක අංශ වෙත ලබාදී නොමැති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ, ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් පිළිබඳ අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් හමුදා බුද්ධි අංශය තුළ සිටි ඇතැම් පුද්ගලයන් එම තොරතුරු හිතාමතා සඟවා තැබුවේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවයි.
වවුනියාවේ පළමු හමුදා බුද්ධි බලකායට තොරතුරු සැපයූ මූලාශ්‍රයකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ. එම මූලාශ්‍රය 2014 වසරේ සිට අන්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදී ඇති අතර, පාස්කු ප්‍රහාරයට පෙර දිනයේද විශේෂිත තොරතුරු ලබාදී තිබූ බව පැමිණිල්ල සඳහන් කළේය.
එම තොරතුරු අනෙකුත් ආරක්ෂක අංශ වෙත දැනුම් දී නොමැති බවට පැමිණිල්ල චෝදනා කළේය. එමෙන්ම, හමුදා බුද්ධි අංශය තුළ සංවිධානාත්මක කණ්ඩායමක් සහරාන් හෂීම් ඇතුළු පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු තිබියදීත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොකළේද යන්න පිළිබඳව විමර්ශනය කෙරෙන බව සඳහන් විය.
රාජ්‍ය බුද්ධි සේවය සතුව පැවති බව කියන තොරතුරු සම්බන්ධයෙන්ද පැමිණිල්ල කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව, අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් 94 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් එවකට රාජ්‍ය බුද්ධි සේවයට ලබාදී තිබූ බවත්, එහි සහරාන් හෂීම් ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ගේ නම් ඇතුළත් වූ බවත් අධිකරණයට දැනුම් දී තිබේ.
වවුනතිව් ප්‍රහාරය සහ 2019 අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදු සිදුවීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදුවන බව පැමිණිල්ල සඳහන් කළේය. සයින්දමරුදු සිදුවීමේදී මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් සහ තොරතුරු ලබාගැනීම සඳහා පුද්ගලයන් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් තිබුණේද යන්න පිළිබඳවද විමර්ශනය කෙරෙන බව අධිකරණයට දැනුම් දී ඇත.
මේ අතර, හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂාවින්ද්‍ර ප්‍රනාන්දු පැමිණිල්ලේ කරුණු ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බොහෝ කරුණු හුදෙක් චෝදනා පමණක් වන අතර ඒවා සාක්ෂි ලෙස සැලකිය නොහැකි බවයි.
සුරේෂ් සලේගේ රෝහල්ගතවීම සම්බන්ධයෙන්ද අධිකරණයේදී කරුණු මතු වූ අතර, ඔහු සම්බන්ධ වෛද්‍ය වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකිරීම පිළිබඳව ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට සැප්තැම්බර් 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් 22 වැනිදා යළි කැඳවීමට නියමිතය.
මූලාශ්‍රය: Ceylonwire News




