යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේදී අසත්‍ය සාක්ෂි ලබාදුන් බවට පැවසෙන පැමිණිල්ලේ සාක්ෂිකරුවකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ.
මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන පාලිත ගමගේ මහතා ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කළේය.
ඔහු මීට පෙර පොලිසියට ලබාදුන් ප්‍රකාශයට පටහැනිව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව, අසත්‍ය සාක්ෂි ලබාදීමේ චෝදනා යටතේ අදාළ සාක්ෂිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සාක්ෂිකාර පාලිත ගමගේ මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.




