මිනිස් ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ‘කොණ්ඩ රංජි’ නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (09) උදෑසන කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
රංජිත් කුමාර නොහොත් ‘කොණ්ඩ රංජි’ ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන බවට එරට පොලිසිය හෝ රජය විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත කිසිදු පූර්ව දැනුම්දීමක් සිදුකර නොතිබූ බව වාර්තා වේ.
ඔහු ඊයේ පෙරවරු 8.10ට පමණ ෆ්ලයිඩුබායි ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී, ආගමන විගමන නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුව ගුවන්තොටුපළේ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
පසුව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.
කඳාන පොලිස් ස්ථානය ඉදිරිපිටදී ජීප් රථයක ගමන් කරමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට සහ ඔහුගේ මස්සිනාට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙයවූ බවටද ‘කොණ්ඩ රංජි’ට චෝදනා එල්ල වී තිබේ. එම ප්‍රහාරයෙන් පෞද්ගලික ලේකම්වරයා බරපතළ තුවාල ලැබූ අතර, ඔහුගේ මස්සිනා මියගොස් තිබේ.
එම ඝාතනයට අමතරව තවත් මිනිස් ඝාතන කිහිපයක්ම ‘කොණ්ඩ රංජි’ගේ නියෝග මත සිදුව ඇති බව පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සිය බිරිඳ සහ දරුවන් සමඟ ජීවත් වූ ඔහු, මීට පෙර ඩුබායි ගුවන්තොටුපළේදී එරට ආරක්ෂක අංශවලට හසුවී තිබුණේ ඉතාලිය බලා පළායාමට උත්සාහ කිරීමේදීය.
ඩුබායි රාජ්‍යයේ විශාල මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ට ලබාදෙන ගෝල්ඩන් වීසා බලපත්‍රයක් ඔහු සතුව තිබූ බවද වාර්තා විය.
එමෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති ‘කොණ්ඩ රංජි’, විවිධ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට එවීමේ ජාවාරමකද නිරත වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඔහු දෙවැනි වරට ඩුබායි පොලිසියට හසුවී ඇත්තේ ඇමෙරිකා–ඉරාන යුද්ධයට අදාළ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් බව වාර්තා වේ.
මාස කිහිපයක් ඩුබායි අත්අඩංගුවේ පසුවූ ‘කොණ්ඩ රංජි’ පෙරේදා රාත්‍රියේ එරටින් පිටුවහල් කර තිබේ.
කඳාන, මීගමුව, වත්තල, ජාඇළ, සීදුව සහ කටුනායක ප්‍රදේශ ආශ්‍රිතව මහා පරිමාණ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් මෙහෙයවූ බවටද ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, මේ වනවිට පාතාල කල්ලියකට නායකත්වය ලබාදෙමින් සිටි බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ‘කොණ්ඩ රංජි’ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් විමර්ශන සිදුකරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.




