රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් අද (02) දෙවැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේ.
මේ වන විට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සිය කරුණු ඉදිරිපත් කරමින් සිටිති.
ඔවුන්ගේ කරුණු දැක්වීම් අවසන් වීමෙන් අනතුරුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය දේශන ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඊයේ පෙරවරුවේ ආරම්භ වූ පෙත්සම් විභාගය රාත්‍රී 10.30 දක්වා පැය 12කට ආසන්න කාලයක් පැවැත්විණි.
කොළඹ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස්, යෝජිත සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි ව්‍යවස්ථාවට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කළ හැකි බව අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම වැනි යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බව ඔහු තර්ක කළේය. එවැනි බලයක් පාර්ලිමේන්තුවට පමණක් ලබාදීම අනාගතයේදී අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.
තවත් පෙත්සම්කරුවකු වන හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ද අධිකරණය හමුවේ කරුණු දක්වමින්, යෝජිත සංශෝධනය හේතුවෙන් අධිකරණ ස්වාධීනත්වය දුර්වල විය හැකි බවත්, එය ජනතා පරමාධිපත්‍යයට බලපෑමක් ඇති කළ හැකි බවත් තර්ක කළේය.
ඔහු ද මෙම සංශෝධනය සම්මත කිරීමට නම් ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවට කරුණු ඉදිරිපත් කළේය.




