ලබන 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළිය සඳහා නගරයේ පිහිටි ප්‍රධාන ක්‍රීඩාංගණ දෙක ලබාදීම අනුරාධපුර නගර සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය සහ සල්ගාදු නගර සභා ක්‍රීඩාංගණය එම දිනවල වෙනත් පාර්ශ්ව විසින් වෙන්කරගෙන ඇති බැවින් ඒවා ලබාදිය නොහැකි බව අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා දැනුම් දී ඇත.
රැළිය සඳහා සුදුසු වෙනත් දිනයක් වෙන්කර ගැනීමට කටයුතු කරන ලෙස ද නගර සභාව පොහොට්ටු සංවිධායකයන්ට දැනුම් දී තිබේ.
කෙසේවෙතත්, මෙම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ දැඩි විරෝධය පළකරති.
සල්ගාදු පිටිය සඳහා තමන් කලින්ම ඉල්ලුම් කර තිබියදී පසුව අයදුම් කළ වෙනත් පාර්ශ්වයකට එය ලබා දී ඇති බවට ඔවුහු චෝදනා කරති. වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ද තෙවැනි පාර්ශ්වයකට වෙන්කර දී ඇති බව පවසමින්, තමන්ට ක්‍රීඩාංගණ ලබාදීම අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව ඔවුහු සඳහන් කරති.
මෙම ක්‍රියාව ජාතික ජන බලවේගය නියෝජනය කරන නගරාධිපතිවරයාගේ උපදෙස් මත සිදුකළ දේශපාලන පළිගැනීමක් බවට ද පොහොට්ටු නියෝජිතයෝ චෝදනා කරති.





