ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එස්.ඒ. සුමන්තිරන් මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගයට ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.
තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ සහ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරුද එම ඉල්ලීමට සහාය පළ කළහ.
කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න කරුණු දක්වමින්, විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අගවිනිසුරුවරයා සතු බව පෙන්වා දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඩුල්ලක සිටිය යුතු විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතු බවත්, ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවත් සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.
අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් ඇතුළු නීතිඥවරුද විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතු බව අධිකරණය හමුවේ පෙන්වා දුන්හ.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝගය නිකුත් කළේය.




