ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ලබන මාසයේ මුල් සතියේදී දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු සිදුකරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් කළ ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන අවධානය යොමු කෙරෙනු ඇත.
සංචාරය අතරතුර රාජ්නාත් සිං, ආරක්ෂක අමාත්‍ය ධුරයද හොබවන ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
වසර පහක කාලයක් සඳහා වලංගු මෙම ගිවිසුම යටතේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, ඒකාබද්ධ හමුදා අභ්‍යාස, ආපදා සහන සේවා හුවමාරුව, නාවික නෞකා වරායන් වෙත පැමිණීම සහ ආරක්ෂක කර්මාන්ත සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.
එමෙන්ම විදුලිබල පද්ධති සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය, සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරෙනු ඇත.
ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් යටතේ කන්කසන්තුරේ වරාය නවීකරණය හා පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
තවද, ශ්‍රී ලංකාවේ අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.




