හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ සමයේ එක්සත් රාජධානියේ සිදුකළ බව කියන පෞද්ගලික සංචාරය සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 166ක් වැය කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධ විමර්ශනවලට අදාළ තවත් කරුණු අනාවරණය වෙමින් පවතී.
විමර්ශනවලදී විශේෂ අවධානයක් යොමුවී ඇත්තේ එම සංචාරය එක්සත් රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික හෝ රාජ්‍ය ආරාධනයක් මත සිදුකළ නිල සංචාරයක් නොවන බවට පළවන කරුණු සම්බන්ධයෙනි.
එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එම කාලසීමාවේ නිල සංචාරවල නිරත වූ රාජ්‍ය නායකයින්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, එහි රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන් නොවන බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරමින් සිටියදී 2023 සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල එක්සත් රාජධානියේ සංචාරයක නිරත විය.
එම සංචාරය සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 166ක් වැය කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා සහ එවක ඔහුගේ ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් මෙම සංචාරය පෞද්ගලික සංචාරයක් නොව නිල සංචාරයක් බව පෙන්වා දීමට උත්සාහ කර ඇති බව සඳහන් වේ.
සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා මෙම කරුණු සම්බන්ධ සියලු තොරතුරු ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 166ක් වැය කර පෞද්ගලික විදේශ සංචාරයක නිරතවීමේ චෝදනාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ සමන් ඒකනායක මහතා මේ වනවිට ඇප මත සිටිති.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය අප්‍රේල් 29 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ, ප්‍රමාණවත් සාක්ෂි පවතින බවත් අපරාධ නඩුවක විමර්ශන ප්‍රමාද වීමෙන් එහි වටිනාකම අඩුවිය හැකි බැවින් සැකකරුවන්ට එරෙහිව කඩිනමින් අධිචෝදනා ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
පසුගිය ජූලි 8 වැනිදා නඩුව යළි කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය එදින අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඒ අනුව, නඩුව සැප්තැම්බර් 30 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම්දීමට නියම කර තිබේ.




