ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කළ යෝජනාවට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක් ගොනු කර තිබේ.
මෙම සංශෝධනය සහ යෝජිත අධිකරණ සංවිධාන පනත් සංශෝධනය අභියෝගයට ලක් කිරීම සඳහා ලබාදී ඇති දින 14ක කාලසීමාව, එම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඊයේ (18) සිට ආරම්භ විය.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර පැය කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
ඊයේ පෙත්සම් ගොනු කළ අනෙකුත් පාර්ශ්වයන් අතර ස්වාධීන නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, සර්වජන බලය, සමගි ජන බලවේගය සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ද වෙති.
මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
යෝජිත 22 වැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ප්‍රකාශ කරන ලෙසත්, එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයකින් ද අනුමැතිය ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.




