ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකාව සහ චීනය සඳහා නව තානාපතිවරුන් පත් කර තිබෙන අතර, නව පත්වීම් දෙරට සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වූ වේ හුඅශියැං මේ වනවිට දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව වැනි පෞරාණික ඉතිහාසයක් සහ සුන්දරත්වයක් සහිත රටක සේවය කිරීමට ලැබීම මහත් ගෞරවයක් බව ඔහු සඳහන් කර ඇත.
එක් තීරයක් එක් මාවතක් (Belt and Road) සංකල්පය යටතේ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් සහ ආයතනවල සුභසාධනය වෙනුවෙන් කැපවන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරයා ලෙස පත් වූ එරික් මේයර් වොෂිංටන් ඩී.සී. හි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ. දකුණු සහ මධ්‍යම ආසියානු කලාපීය කටයුතු පිළිබඳ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ඔහු ඉදිරි දිනවලදී කොළඹට පැමිණීමට නියමිතය.
මේ අතර, BRICS වාණිජ මණ්ඩලයේ (ශ්‍රී ලංකා) ප්‍රධාන ලේකම් කෝසල වික්‍රමනායක ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් නව තානාපතිවරුන් පත්කිරීමේදී වාණිජමය හැකියාවෙන් පිරිපුන් පුද්ගලයන් තෝරා ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ඇමෙරිකාව වන අතර, චීනය මෙරට දෙවන විශාලතම ආර්ථික සහකරු සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු බව ඔහු පෙන්වා දී ඇත. එබැවින් නව තානාපතිවරුන් හරහා වෙළෙඳ හා ආයෝජන අවස්ථා වැඩි කර ගැනීමේ වැදගත්කමද ඔහු අවධාරණය කර තිබේ.




