විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමියෝ පවසති.
මහනුවරදී මානව හිමිකම් සංවිධානයක නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
ජාතික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අතීතයේ සිටම මහා සංඝරත්නය පාලකයන්ට වාචිකව මෙන්ම ලිඛිතවද උපදෙස් ලබාදී ඇති බව උන්වහන්සේ පැවසූහ.
එවැනි අවස්ථාවලදී ලිපිය ලැබුණු බවට හෝ පිළිගැනීමක් ලබාදීම සාමාන්‍යයෙන් සිදුවුවද, මෙවර අදාළ ලිපිය ලැබුණු බවට පවා දැනුම්දීමක් සිදුකර නොමැති බවද උන්වහන්සේ සඳහන් කළහ.
එම අවස්ථාවේ අදහස් දැක්වූ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂණ සුබ්බවික්‍රම මහතා පැවසුවේ ලෝකයේ බොහෝ රටවල විනිසුරුවරුන්ගේ ධුර කාලය වයස අවුරුදු 60 සීමාවෙන් ඔබ්බට පවතින බැවින් ශ්‍රී ලංකාවේද විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම ගැටලුවක් නොවන බවයි.




