හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟදීම

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ව…

By Site Administrator2 මිනිත්තු කියවීම
පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟදීම

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

වසර පහකට ආසන්න කාලයක් පුරා විභාග වූ මෙම නඩුවේ පැමිණිල්ලේ අවසන් සාක්ෂි ඊයේ (11) රාත්‍රියේදී ඉදිරිපත් කිරීමෙන් පැමිණිල්ලේ නඩුව අවසන් වී තිබේ. මේ දක්වා දින 245කට ආසන්න කාලයක් පැමිණිල්ලේ සාක්ෂි විභාගයට ගෙන ඇත.

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සභාපතිත්වය දරන අතර, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ නඩුව විභාග වේ.

පැමිණිල්ලේ නඩුව අවසන් වීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි විභාගය පැවැත්වීමට නියමිත අතර, ඉන් අනතුරුව දෙපාර්ශ්වයේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය නියම කිරීමට නියමිතය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 31ක් පවරා ඇති අතර, ඉන් නඩු පහක් ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ විභාග වේ. එම නඩු අතරින් නඩු තුනක තීන්දු මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර වරදකරුවන්ට දඬුවම් නියම කර තිබේ.

මීට අමතරව, මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා හතකට සහ දේව ප්‍රතිමාවකට අලාභහානි කිරීම සම්බන්ධ නඩුවේදී විත්තිකරුවන් 11 දෙනකුට දඬුවම් නියම කර ඇත.

පුත්තලම, ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ ත්‍රස්ත පුහුණු කඳවුරක් සහ පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවද මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ විභාග වේ.

පාස්කු මහ නඩුව කාර්යක්ෂමව විභාග කිරීම සඳහා ගත් පියවර හේතුවෙන් සාමාන්‍ය ක්‍රමවේදය අනුව වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් ගතවීමට ඉඩ තිබූ නඩුවක් තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න