මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ඉදිරිපත් වූ යෝජනා පිළිබඳව අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධානය යොමු විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් හෝ එකඟතාවක් ගෙන නොමැති බවයි.
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශ්වයන්ගෙන් යෝජනා ඉදිරිපත් වූ බව අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත්, එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයකට හෝ එකඟතාවකට පැමිණ නොමැති බවද ඔහු අවධාරණය කළේය.
පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා කිරීමේදී විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස පමණක් මෙය සැලකිය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




