ජීවිත හානි සිදුවීම සහ කෝටි ගණනක් වටිනා පොදු දේපළ විනාශ වීම දක්වා වර්ධනය වී ඇති මෙරට බන්ධනාගාර ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් මේ වනවිට රටේ දැඩි අවධානයට ලක්ව තිබේ.
2012 වැලිකඩ බන්ධනාගාර ගැටුම සහ 2020 මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇතුළු සිදුවීම්, මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටලු පිළිබඳ අනතුරු ඇඟවීම් ලෙස හඳුනාගත හැකිය.
එම ගැටුම්වලට හේතු සෙවීම සඳහා රජය පත්කළ කොමිෂන් සභා ඉදිරිපත් කළ වාර්තාවල බන්ධනාගාරවල පවතින අධික තදබදය මෙවැනි ගැටලු සඳහා ප්‍රධාන පදනමක් සපයන බව පෙන්වා දී තිබුණි.
ඉකුත් ජූලි මාසයේ මීගමුව බන්ධනාගාරයෙන් ආරම්භ වූ නොසන්සුන් තත්ත්වය පසුව මහර, මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර දක්වා ව්‍යාප්ත වීමත් සමඟ බන්ධනාගාර පද්ධතියේ පවතින අර්බුදය යළිත් මතු වී තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් තොරතුරු අනුව, දිවයින පුරා බන්ධනාගාර 36ක රඳවා තැබිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව 10,500කි. එහෙත් 2026 අගෝස්තු 01 වන විට බන්ධනාගාර තුළ රැඳවියන් 39,400කට ආසන්න පිරිසක් සිටින බව සඳහන් වේ.
ඒ අනුව, බන්ධනාගාරවල වත්මන් රැඳවියන් සංඛ්‍යාව ඒවායේ සමස්ත ධාරිතාව මෙන් තුන් ගුණයකටත් වැඩිය.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 820කට පහසුකම් තිබුණද, ජූලි මාසයේ නොසන්සුන්තාව ඇති වූ අවස්ථාවේදී එහි රැඳවියන් 2,418කට ආසන්න පිරිසක් රඳවා සිටි බව සඳහන් වේ. මහර බන්ධනාගාරයේ ධාරිතාව 1,200ක් පමණ වුවද, එහි රැඳවියන් 4,078කට ආසන්න පිරිසක් සිටින බවත්, පල්ලන්සේන බන්ධනාගාරයේ 1,000කට පමණක් පහසුකම් තිබියදී රැඳවියන් 2,000කට ආසන්න පිරිසක් සිටින බවත් වාර්තා වේ.
මෙවැනි අධික තදබදයක් පවතින පරිසරයක සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ අරමුණ සාර්ථකව ඉටු කළ හැකිද යන්නද ප්‍රශ්නයක් මතුව තිබේ.
ලොව සාර්ථක බන්ධනාගාර පද්ධතියක් ලෙස සැලකෙන නෝර්වේ බන්ධනාගාර ක්‍රමය දඬුවමට පමණක් සීමා නොවී පුනරුත්ථාපනය, සමාජානුයෝජනය සහ මානව හිමිකම් ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරයි. එවැනි ක්‍රමවේදයන්හි මූලික ලක්ෂණයක් වන්නේ බන්ධනාගාරයකට දැරිය හැකි ධාරිතාව ඉක්මවා රැඳවියන් රඳවා නොතැබීමයි.
නෝර්වේ හෝ ස්වීඩනයේ පවතින ක්‍රමවේද සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට ආදේශ කළ නොහැකි වුවද, බන්ධනාගාර තදබදය, මත්ද්‍රව්‍ය සංසරණය සහ ගැටුම් අවම කිරීම සඳහා මෙරට බන්ධනාගාර පද්ධතියේ කඩිනම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පැහැදිලි වේ.
ඒ අනුව, පත්කරන කමිටු සහ නිකුත් කරන වාර්තා විසඳුම් සඳහා පමණක් සීමා නොවී, බන්ධනාගාරය අපරාධකරුවන් බිහි කරන ස්ථානයක් වෙනුවට වැරදි කළ පුද්ගලයන් පුනරුත්ථාපනය කරන ස්ථානයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය දැඩිව මතුව තිබේ.




