මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට බන්ධනාගාරවල පවතින අධික තදබදය හේතුවක් විය හැකි නමුත්, ඒ පිටුපස සංවිධානාත්මක බාහිර මැදිහත්වීමක් තිබේද යන්න පිළිබඳ විමර්ශන සිදුකරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට ලැබී ඇති තොරතුරු අනුව ගැටුම ප්‍රධාන වශයෙන් රැඳවියන් සහ බන්ධනාගාර පාලනාධිකාරිය අතර ඇති වූවක් බවයි.
කෙසේ වෙතත්, ප්‍රචණ්ඩකාරී තත්ත්වය උත්සන්න කිරීමට බාහිර පාර්ශ්වයන්ගේ බලපෑමක් තිබේද යන්න පිළිබඳව රජය විශේෂ අවධානය යොමු කරමින් පරීක්ෂණ පවත්වන බවද අමාත්‍යවරයා පැවසීය.
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් හේතුවෙන් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම විශාල ලෙස පාලනය වී ඇති අතර, එයද මෙම නොසන්සුන්තාවයට එක් හේතුවක් විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
බන්ධනාගාර තදබදය බරපතළ ගැටලුවක් බව පිළිගත් අමාත්‍යවරයා, එය මෙවැනි සිදුවීම් සඳහා එකම හේතුව නොවන බවද සඳහන් කළේය.
බන්ධනාගාර ධාරිතාව වැඩි කිරීම, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයන් අවම කිරීම සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ ඇප ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා නීතිමය සංශෝධන ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
මේ වන විට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් රැඳවියන් 23,000කට ආසන්න පිරිසක් බන්ධනාගාරගතව සිටින බවත්, මත්ද්‍රව්‍ය ගැටලුව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් විසඳිය නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.




