පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. අදාළ සතියේ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
ඔක්තෝබර් 06 අඟහරුවාදා පෙ.ව. 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ.
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි දෙකක් සහ නියෝගයක් මෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතයක් විවාදයට ගැනීමට නියමිතය. ප.ව. 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
ඔක්තෝබර් 07 බදාදා පෙ.ව. 10.00 සිට 10.30 දක්වා අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහාත්, පෙ.ව. 10.30 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ. පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, ප.ව. 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
ඔක්තෝබර් 09 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය. ඒ අතර දියගම වනාන්තරය ආරක්ෂා කිරීම, පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා වැඩි කිරීම, 1983 කළු ජූලිය සම්බන්ධයෙන් සත්‍යය සෙවීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීම, මාර්ග රක්ෂිතවල ගස් රෝපණය හා නඩත්තුව සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ණයවලට ගොදුරු වූ පුද්ගලයන්ට සාධාරණය ඉටු කිරීම සහ ක්‍රීඩා සංගම් දේශපාලනීකරණයෙන් තොර කිරීම පිළිබඳ යෝජනා ඇතුළත් වේ.




